Bookmark
දෛවය 2020

අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
Nishantha Perera
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී

නිශාන්ත පෙරේරා මහතා

ඉදිරිපත් කරයි.
  38,165 Views
ආයු රක්ඛන්තු ආවඩා !
2020 වසර බොහෝ වෙනස් වසරකි. මන්දයත් මෙම වසර ග‍්‍රහණ 6 කින් සමන්විත වේ. චන්ද්‍රග‍්‍රහණ 4ක් සහ සූර්යග‍්‍රහණ 2ක් මෙම වසරේ සමන්විතයි. එසේම ග‍්‍රහ යුද්ධ 11කින් යුක්ත වේ. මෙම ග‍්‍රහ යුද්ධ 11 තුළ බුද්ධියට අධිපති බුධ සහභාගී වන ග‍්‍රහ යුද්ධ පහ පරාජයට පත්වීම විශේෂයෙන්ම දක්නට ලැබේ. එසේම ප‍්‍රධාන ග‍්‍රහ මාරුවීම් 3ක් සිදුවන වසරකි. සෙනසුරු තමාගේම රාශියක් වන මකර රාශිය වෙත වසර 30කට පසුව ප‍්‍රවේශ වීම, එසේම බ‍්‍රහස්පති, සෙනසුරු වසර 60කට පසුව සංයෝග වීම සේම සෙනසුරු සහ අඟහරු මාස 2කට ආසන්න කාලයක් මකර රාශියේ රැඳී සිටීම දක්නට ලැබේ. සෙනසුරු හා අඟහරු දෙදෙනාගේම බලය පතුරවන රාශියක් ලෙස මකර රාශිය හැඳින්විය හැකිය. මෙවැනි ග‍්‍රහ සිත්තමක් මීට පෙර මුණ ගැහුණේ 1902 ජනවාරි 5 වැනිදා සිට 1903 ජනවාරි 19 වනතුරුය. ඉන්පසුව 1961 පෙබරවාරි 10 සිට 1962 මාර්තු 24 දක්වා ද මෙම ග‍්‍රහ සිත්තම දක්නට ලැබුණි. මෙවැනි සංයෝගයක් නැවත දක්නට ලැබෙනුයේ තවත් වසර 60කට පසුවයි. මෙම උදා වූ වසර සෙනසුරුගේ බලය පතුරුවන වසරක් ලෙස හැඳින්විය හැකිය. දිව්‍ය ලොව යතුර සේම අපායේ යතුර ද රැඳී පවතිනුයේ සෙනසුරුගේ අත මතයි. ශ‍්‍රී ලාංකිකයන් ලෙස සෙනසුරුගේ දිව්‍ය ලොව යතුර ලබාගැනීමට නම් ඔබ සැමවිටම මහත් වූ ශක්තියක් ඇති බවත්, එම ශක්තිය පෙරදැරි කොටගෙන යහපත් සිතුවිලි වලින් යුතුව ලග්නයෙන් ලග්නයට කළ යුතු වත්පිළිවෙත් ඉෂ්ඨකර තමාගේ ආගමානුකූල වටපිටාවක් තුළ කටයුතු කරන්නේ නම් සෙනසුරු 2020 වසර තුළ ඔබට සදා අමතක නොවන සුභ ඵල ගෙන දෙන වසරක් බවට පත්කර දෙනු ලබයි. ලග්නයෙන් ලග්නයට සෙනසුරුගෙත්, අඟහරුගෙත්, බ‍්‍රහස්පතිගෙත් බලය දෝලනය වන මෙම වසර පිලිබඳ ඉරණම ලග්නයෙන් ලග්නයට මෙසේය.

මේෂ ලග්නය

රාශි චක‍්‍රයේ පළවෙනි ලග්නය වූ මේෂ ලග්නයේ උපන් ඔබට 2020 වසරේ ලග්නාධිපති 8 වැන්නේ ගමන් කරමින් උදාවන මේ වසර තුළ පංචග‍්‍රහ යෝගයක් ලග්නයේ නමවැන්න වූ පූජ්‍යස්ථානගතව පවතී. වසර ආරම්භයේ දීම බ‍්‍රහස්පති බලවත් වී පූජ්‍යස්ථානගත වුවත් ජනවාරි මස 24 වැනිදා සෙනසුරු ලග්නයෙන් 10 වැන්නට පැමිණෙන්නේ පංච මහා පුරුෂ යෝගයක් වන සස නමැති යෝගය උදා කරමිනි. එසේම බ‍්‍රහස්පති, සෙනසුරු සමඟ සංයෝග වී නීචභංග රාජයෝගයක් ඔබේ 10 වැන්නේ ඇතිකිරීමට නියමිතයි. විශේෂයෙන් ධන ලාභ ලබන්න, මුදල් ලාභ ලබන්න මේෂ ලග්න හිමියන්ට නිරායාසයෙන්ම ශක්තිය, ධෛර්යය, ග‍්‍රහ වාසනාව උදා වී ඇත. රැකියාවේ, වෙළඳ ව්‍යාපාරයේ දියුණුවට ඉතාමත් සුභ වසරකි. ගෘහ ජීවිත ආශ‍්‍රිතව වසර ආරම්භයේ දීම සිතට සතුට ගෙන දෙන කරුණු කාරණා ගෙනදිය හැක. දරුඵල ප‍්‍රමාදයන් සාර්ථක වීමට ඉඩකඩ වැඩිය. ආගමික නායකයින්ගේ ඇසුර වගේම තමන්ගේ ආගමානුකූල වත්පිළිවෙත් වල නිරත වීමේ ඉඩකඩ මේෂ ලග්න හිමියන්ට පවතී. අධ්‍යාපන කටයුතු ද යහපත් වේ. ගණිතය, තොරතුරු තාක්ෂණය වැනි විෂය ධාරාවන් හදාරන දරුවන්ට සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට හැක. සෞඛ්‍යය අතින් ගත්කළ නිරෝගී සම්පත්තිය පවත්වාගෙන යන සුභ වසරකි. විශේෂයෙන්ම අසනීප තත්වයන් වලින් පෙළුණේ නම් නිරෝගී සම්පත්තිය උදාකර ගැනීමට මේෂ ලග්න හිමියන්ට අවකාශය ලැබේ. සුභ දින ලෙස ඉරිදා, බ‍්‍රහස්පතින්දා සහ අඟහරුවාදා දින සඳහන් කළ හැක. ජය අංක ලෙස අංක 1, අංක 5, අංක 9 යහපත්වන අතර මේ වසරේ එල්ලවන්නා වූ පුංචි පුංචි අභියෝග රාජ යෝග බවට පත්කර ගැනීමට මේෂ ලග්නයේ උපන් ඔබ මාසයේ පළමුවන අඟහරුවාදා දිනවල උක් හකුරු සහිත කිරිබතක් තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙකුට පූජා කරන්න. 2020 අතිසාර්ථක බවට පත්වේ.


Share this

වෘෂභ ලග්නය

දෙවන රාශිය වූ වෘෂභ ලග්න හිමියන්ට සුභ ආරංචි මාර්ග ලැබෙන වසරකි. 2017 ඔක්තෝබර් මස සිට පැවති සෙනසුරුගේ ලග්න අෂ්ඨම නමැති ඒරාෂ්ඨක අපලය ජනවාරි 24 වැනිදා සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට වෘෂභ ලග්න හිමියන්ට අවකාශ ලැබේ. නමුත් වසර ආරම්භ වීමේ දී බලවත් වූ බ‍්‍රහස්පති, සෙනසුරු, රාජකාරික රවි, ලග්නාධිපති සිකුරු සහ කේතු යන ග‍්‍රහයින් 8 වැන්නේ ගමන් කරමින් මේ වසර උදා කරයි. ඒ නිසා විශේෂයෙන්ම මූල්‍ය ගනුදෙනු ආදියේ දී පරිස්සම් වීම වැදගත් වේ. දුරදිග නොසිතා කරනු ලබන ගනුදෙනු ආදිය නිසා මූල්‍ය පාඩු සිදුවිය හැක. එසේම හැකිතාක් අරමුදල් එක්රැස් කර ගැනීමට තැන්පත් ධනය වර්ධනය කරගැනීමට උත්සාහ කිරීම වඩා වැදගත් වේ. එනම්, අත්‍යවශ්‍ය වියදම් පමණක් අතේ තියාගනිමින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ. රැකී රක්ෂා ආශ‍්‍රිතව යම් යම් පීඩා කරදර ගෙනදිය හැක. බොහෝ විට ඔබ විසින්ම උදව් උපකාර කරන පිරිස්ම ඔබට එරෙහිව නැඟී සිටින ආකාර පවතින බැවින් කල්පනාකාරීව තමන් වෙත පැවරෙන යුතුකම්, වගකීම් ඉෂ්ට කිරීම වඩා වැදගත් වේ. එසේම ගෘහ ජීවිතය අතින් ගත්කළ වැදගත්කමක් නොමැති දෑ වෙනුවෙන් වෙහෙස මහන්සි වීම්, අනවශ්‍ය කේන්ති ගැනීම් නිසාවෙන් පවුලේ සතුට, සමගිය, සහජීවනයට බරපතල අර්බුද ගෙනදිය හැක. බුද්ධිමත් සිතින්, උපේක්ෂාශීලීව කටයුතු කිරීම වඩාත් වැදගත් වේ. එසේම බොහෝ විට ඥාතී හිතමිත‍්‍රාදීන් සමඟ කරනු ලබන ප‍්‍රකාශන, ඔවුන් වෙත වෙන පොරොන්දු පිළිබඳවත් වගකීම් දැරීමට වෘෂභ ලග්න හිමියන් අමතක නොකළ යුතුය. අධ්‍යාපන කටයුතු වලදී නව දේ ඉගෙනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේ. එසේම ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතු වල නිරත වන වෘෂභ ලග්න හිමි දුවා පුතුන් වයසට වඩා වැඩිමහල් අය ඇසුරු කිරීමේ දී ප‍්‍රවේශම් වීම වැදගත් වේ. සෞඛ්‍යය අතින් ගත්කළ බොහෝ විට මුඛ ආශ‍්‍රිත රෝග පීඩා ගෙන දිය හැක. විශේෂයෙන් දත් ආශ‍්‍රිත රෝග පීඩා වලදී ඉක්මන් වෛද්‍ය ප‍්‍රතිකාාර ගැනීම වඩාත් වැදගත් වේ. සුභ දින ලෙස බදාදා සහ සිකුරාදා හැඳින්විය හැක. සුභ අංකය වන්නේ අංක 6. සුදු, ක‍්‍රීම්, අයිවරි යන වර්ණයන් යහපත් වේ. මාසයේ පළමුවැනි සිකුරාදා දින වල මෙහෙණින්වහන්සේ නමකට බෙහෙත් ද්‍රව්‍ය පූජා කිරීමට හැකි නම් ඔබ බලාපොරොත්තු වන ඉලක්ක පහසුවෙන්ම ළඟා කරගත හැක.


Share this

මිථුන ලග්නය

වසර ආරම්භය අති විශිෂ්ට ආකාරයෙන් ආරම්භ වේ. ඒ තමයි හත්වැන්නාධිපති හත්වැන්නේම බලවත් වී ගුරු හංස නමැති පංච මහා පුරුෂ යෝගයක් ගොඩ නගද්දී පංච ග‍්‍රහ සංයෝගයක් ඔබේ ලග්නයෙන් හත්වැන්නේ පවතී. ඒ තමයි ඔබේ ලග්නාධිපති බුධ, බලවත් වූ බ‍්‍රහස්පති, යෝගකාරක සිකුරු, සෙනසුරු වගේම රාජකාරක රවිත් තැන්පත් වී පවතී. වසර ආරම්භයේ දීම එනම් ජනවාරි 24 සිට මිථුන ලග්න හිමියන්ට වසර දෙකහමාරකට ආසන්න කාලයක් සෙනසුරුගේ ලග්න අෂ්ටම නමැති ඒරාෂ්ඨක තත්වයන් ලබන්නට නියමිතයි. එම නිසා වසර ආරම්භයේ දීම තිබෙන මානසික ඒකාග‍්‍රතාවය වසර අවසානය තෙක්ම තබාගෙන යාමට මිථුන ලග්න හිමියන් අමතක නොකළ යුතුයි. ධනය අතින් ගත්කළ අධික වියදම් සහිත කාලයක් හැටියට සැලකිය හැකිය. නිසි මූල්‍ය කළමණාකාරීත්වයෙන් කටයුතු කිරීම වැදගත් වේ. එසේම හවුලේ කරනු ලබන කටයුතු, ආයෝජන කටයුතු වලදී වඩාත් පරිස්සම් වීම අමතක නොකළ යුතුයි. ගෘහ ජීවිතය අතින් ගත්කළ මානසික සහනය මදක් අඩුවේ. සිතේ චංචල බව ද වැඩිය. සැමදෙනා දෙසම තරමක් අවිශ්වාසයෙන් බැලීමට යොමු වීම නිසා හිතවතුන් පවා දුරස්විය හැක. යුග ජීවිත ආශ‍්‍රිතව වැදගත් නොමැති දේට නොහොඳ නෝක්කාඩු ඇතිවීම්, අදහස් අතර පරස්පර ස්වභාවයන් ඇතිවිය හැක. විශේෂයෙන් දූ දරු සම්බන්ධතා අතර පවා යම් යම් විරසක වීම් ගෙනදෙන බැවින් ඉවසීම, උපේක්ෂා සහගත බව ප‍්‍රගුණ කරගන්නා තරමට නව වසර ඔබට සාර්ථක කරගත හැකිය. අධ්‍යාපන කටයුතු වලදී විෂය කටයුතු වලට වඩා විෂය භාහිර දේ සඳහා ඔබ වැඩිපුර යොමුවන බැවින් සමබරතාවයකින් යුතුව අධ්‍යාපන කටයුතු කිරීම වැදගත් වේ. බොහෝවිට සම වයසේ සිටින අයගේ ඊර්ශ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට තමන්ව පාත‍්‍ර විය හැකිය. ඒ නිසා සිතේ ඇති සැලසුම් ක‍්‍රියාවෙන් ඔප්පු කිරීම මිසක් ඊට පෙර අන් අයට පැවසීමෙන් වැළකීමට වගබලා ගැනීම යෝග්‍ය වේ. නිධන්ගත රෝග පීඩා මේ වසරේ ඉස්මතු වීමට ඉඩකඩ පවතී. තෙල්, සීනි, පිටි සහිත ආහාර පාන හැකිතාක් පාලනය කිරීම වඩාත් වැදගත් වේ. බදාදා සහ සිකුරාදා ඔබේ සුභ කටයුතු වලට තබා ගැනීම යහපත්ය. අංක 3 සහ අංක 5 ඔබේ ජය අංක ලෙසින් තබා ගැනීම යෝග්‍ය වේ. එසේම කොළ වර්ණය සහ සුදු වර්ණය ඔබේ ජය වර්ණ ලෙස සඳහන් කළ හැකිය. මේ වසර ජයග‍්‍රහණය පතා කටයුතු කරන මිථුන ලග්න හිමියන් මෙම පාඨය සිහි තබා ගැනීම ඉතා සුභ වේ. ‘‘ නීලාංජන සමාභාශං, රවි පුත‍්‍රං යමාග‍්‍රජම් ඡායාය මාරතණ්ඩ සම්භූතම් තං නමාමි ශයිනේෂ්වරම්.....’’ දෛනිකව උදෑසන මෙම පාඨය සජ්ඣායනා කිරීම මගින් ඔබට වාසනාව ලැබේවි.


Share this

කටක ලග්නය

කටක ලග්න හිමියන්ට 2020 ආරම්භ වන්නේ යෝගකාරක බ‍්‍රහස්පති බලවත් වී ලග්නයේ හයවැන්නේ සෙනසුරු, කේතු, බුධ, රවි සහ එකොළොස්වැන්නාධිපති සිකුරුත් එහි තැන්පත් වී පංච ග‍්‍රහ යෝගයක් පවතී. එසේම ජනවාරි මස 23 වැනිදා සෙනසුරුගෙ මාරුව හය වැන්නෙන් හත් වැන්නට සිදු වේ. ‘සස’ නමැති පංච මහා පුරුෂ යෝගයක් කටක ලග්න හිමියන්ට උදා කරයි. බොහෝවිට මිල මුදල් අතින් ගත්කළ දේපළ වලට තිබුණු කරදර බාධක නැතිකර ගැනීමේ හැකියාවක් පවතී. සතුරු කරදර බාධා මැඩ ගැනීමටත් ශක්තිය ධෛර්යය ලැබේ. එසේම තමා යම් කිසි අස්ථාන චෝදනාවකට ලක් වී සිටියේ නම් එම චෝදනා ආදියෙන් නිදහස් වීමට අවකාශ ලැබෙන බැවින් ව්‍යාපාරික කටයුතු, රැකී රක්ෂා කටයුතු වලින් දියුණුවට පත්වීමේ ඉඩකඩ පවතී. තමන්ට හිමිවිය යුතු මුදලක් මෙතෙක් කල් ලබා ගැනීමට නොහැකිව සිටියේ නම් එකවර යම් මුදලක් භුක්ති විඳීමේ ඉඩකඩ කටක ලග්න හිමියන්ට පවතී. යුග ජීවිත ආශ‍්‍රිතව ගත්කළ පදිංචි ස්ථාන ආශ‍්‍රිතව පැහැදිලි සුභවාදී වෙනසකට ඉඩකඩ පවතින කාලයකි. එසේම කායික, මානසික වශයෙන් යම් යම් පීඩා කරදර තිබුණේ නම් එම දේවල් මඟහරවා ගැනීමේ ශක්තිය පවතී. පදිංචි ස්ථාන ආශ‍්‍රිතව තිබූ කරදර බාධා නිරාකරණය කර ගැනීමට අවකාශ ලැබෙන අතර අසල්වාසීන්ගෙන්, ඥාතීන්ගෙන් තිබූ සතුරු කරදර නිම කර සෑමදෙනා සමඟම හොඳ හිත පවත්වාගෙන යෑමේ හැකියාව, ශක්තිය, ධෛර්යය කටක ලග්න හිමියන්ට පවතී. අධ්‍යාපන කටයුතු වලදී විභාග පරීක්ෂණ ආදියේ දී යම් යම් බාධා ගෙනදිය හැකිය. පෙර පුහුණු වීම්, නැඹුරුව, කැපවීම ඉතාමත් අධික ලෙස පවත්වාගෙන යෑමට අමතක නොකළ යුතුය. පෙනීමේ දුර්වලතා ගෙනදිය හැකිය. ඉරිදා, සඳුදා සහ බ‍්‍රහස්පතින්දා ඔබේ ජයග‍්‍රාහී දින ලෙස තබා ගැනීම යෝග්‍ය වේ. අංක 2, අංක 7 සහ අංක 9 ඔබේ ජයග‍්‍රහණ අංක වේ. සුදු වර්ණය සහ ක‍්‍රීම් වර්ණය ඔබේ ජයග‍්‍රාහී වර්ණ වේ. 2020 වසරේ ඔබේ ජයග‍්‍රහණය වෙනුවෙන් සෑම සඳුදා දිනකම උදෑසන ප‍්‍රථම රාජකාරිය ලෙස මෝර පිරිත, ඡන්ද පිරිත, සූරිය පිරිත, ජය පිරිත වරක් හෝ සජ්ඣායනා කර, වරක් හෝ ශ‍්‍රවණය කර ඔබේ කටයුතු ආරම්භ කිරීමෙන් 2020 වසර අතිසාර්ථක වසරක් බවට පත්කර ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.


Share this

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ට 2020 වසර ආරම්භ වන්නේ ඔබේ ලග්නාධිපතිත් සමඟ බලවත් වූ බ‍්‍රහස්පති, සෙනසුරු, කේතු, බුධ පංචග‍්‍රහ සංයෝගයක් ඔබේ පස්වැන්න වූ විද්‍යාස්ථාන, පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරමින් සිටියදීයි. එසේම ජනවාරි මස 24 වැනිදා එකී සෙනසුරු ඔබේ ලග්නයෙන් හයවැන්න වූ රෝගස්ථාන හෙවත් සතුරුස්ථානගතව බලවත් වේ. කෙසේ නමුත් සිංහ ලග්න හිමියන්ට සුළු සුළු කටයුතු වලින් විශාල ලාභ ප‍්‍රයෝජන අත්පත්කර ගැනීමට අවකාශ, ශක්තිය, ධෛර්යය ලැබෙන වසරක් ලෙස සැලකිය හැකිය. හදිසි ධන ලාභ ගෙනදෙයි. අනුන් යටතේ කරන දෙයට වඩා තමන්ගේම ස්වාධීන කටයුතු කිරීමට බලාපොරොත්තු වූ සිංහ ලග්න හිමියන්ට සුවිශේෂී වරප‍්‍රසාද, සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරදෙන වසරකි. රැකී රක්ෂා ආශ‍්‍රිතව ගත්කළ තනතුරු තානාන්තරවල යම් යම් උස් පහත් වීම් දක්නට හැකිය. බොහෝවිට අන් අයගේ කටයුතු සඳහා අවනත වීම තුළ ඔබගේ ස්වාධීනත්වය ගිලිහී යාමේ ඉඩකඩ පවතින බැවින් තමන්ගේ දැනුම, හැකියාව, දක්ෂතාවය පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව රැකි රක්ෂාව කිරීම වඩාත් වැදගත් වේ. ගෘහ ජීවිතයේ දී පෙර තිබුණා වූ යම් යම් පටලැවිලි තත්වයන් නිරාකරණය කර ගැනීමේ ශක්තිය ගෙන දේ. තමන්ටම ඉඩකඩම් මිලට ගැනීමට සිටියේ නම්, තමන්ටම ගෙයක් දොරක් ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඔබේ එම බලාපොරොත්තු සඵල කරගැනීමට හැකියාව පවතී. යාන වාහන සම්පත්තීන් ද උදා කරන නව වසරක් ලෙස 2020 වසර හැඳින්විය හැකිය. එසේම දුර බැහැර ඥාතියෙකුගේ ආගමනයක්, විශේෂිත පුද්ගලයෙකුගේ උදව් උපකාර මතින් තම ජීවන රටාවේ යම් යම් වෙනස් කිරීම් ඇති කර ගැනීමටත් සිංහ ලග්න හිමියන්ට අවකාශ ලැබේ. අධ්‍යාපනය අතින් ගත්කළ පරිගණක තාක්ෂණය, ලෝහ කර්මාන්ත ආශ‍්‍රිත අධ්‍යාපන ආදී කටයුතු වලට ඉතාමත් සුභ කාලයක් ලෙසට 2020 වසර හැඳින්විය හැක. ශරීර සෞඛ්‍යය අතින් ගත්කළ ආහාරපානාදිය පාලනය කිරීම වැදගත් වේ. ශරීරයේ ස්ථුලතාවය ඉහළ යන වසරක් ලෙස මෙම වසර හැඳින්විය හැක. මේ වසරේ ජයග‍්‍රහණය පතා කටයුතු කරන්නේ නම් ඉරිදා, අඟහරුවාදා සහ සිකුරාදා ඔබේ සුභ දින ලෙස තබා ගැනීම යෝග්‍ය වේ. අංක 1 සහ 4 ඔබේ ජයග‍්‍රාහී අංක වන අතර රතු සහ රෝස වැනි වර්ණයන් ජයග‍්‍රාහී වර්ණයන් වේ. පවතින්නා වූ පුංචි පුංචි අභියෝගයන් ජය ගැනීමට නම් සෑම ඉරිදා දිනකම ගිලන්ව සිටින භික්ෂු නමකට හෝ ශල්‍යකර්මයකට ලක් වූ කෙනෙකුට තමාට හැකි අයුරින් බෙහෙත් ද්‍රව්‍ය දන්දිය හැකි නම් 2020 ඔබට ඉතා සුභ වසරක් බවට පත්කර ගත හැක.


Share this

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ට වසර ආරම්භ වීමේ දී බ‍්‍රහස්පති හතරවැන්නේ බලවත්ව පවතී. ගුරු හංස නමැති යෝගයක් උදා කරමින් බ‍්‍රහස්පති හතරවැන්නේ හතරවැන්නාධිපති ලෙසින් සෙනසුරු, කේතු, රාජකාරික රවි සහ ලග්නාධිපති බුධ සමඟ සංයෝග වී පංච ග‍්‍රහ යෝගයක් උදා කරමින් ගමන් කරයි. එසේම හතරවැන්නේ සිටින සෙනසුරු ජනවාරි මස 24 වැනිදා ඔබේ ලග්නයෙන් පස්වැන්න වූ විද්‍යාස්ථානයට එසේත් නොමැති නම් පූර්ව පුණ්‍යස්ථානයට ප‍්‍රවේශ වීමට නියමිතය. බොහෝවිට ධනය අතින් ගත්කළ මිශ‍්‍ර ඵල මෙම වසර තුළ ඇති කරයි. එබැවින් තමන්ට ලැබෙන මුදල් නිසි පරිදි පරිහරණය කිරීමට කන්‍යා ලග්න හිමියන් තරයේ වගබලා ගත යුතුය. ලැබීම් සඳහා මාර්ග කිහිපයක් එළිපෙහෙළි වුවත් ඒවා රඳවා ගැනීමේ දුර්වලතා පවතී. යුග ජීවිතය අතින් ගත්කළ බලාපොරොත්තු වන අදහස් සාර්ථක කර ගැනීමේ ශක්තිය ගෙන දේ. එසේම දුවා දරුවන්ගේ යම් යම් දඩබ්බර ක‍්‍රියාකලාපයන් නිසා මානසික වශයෙන් යම් යම් පීඩා කරදර ගෙන දේ. හැකිතාක් දුරට පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට, අදහස් බෙදා හදා ගැනීමට කාලය වෙන්කර ගැනීම වඩා වැදගත් වේ. එසේම දුර බැහැර ගමන් බිමන් වල නිරත වීමට, දුර බැහැර ඉඩකඩම්, යාන වාහන මිලට ගැනීමට කන්‍යා ලග්න හිමියන්ට අවකාශ ලැබේ. විවාහ ආදී කටයුතු ප‍්‍රමාද වූ කන්‍යා ලග්න හිමියන්ට හිතවතුන්ගේ මාර්ගයෙන් ප‍්‍රබල මංගල යෝග මෙම වසර තුළ උදා වේ. අධ්‍යාපනය අතින් ගත්කළ විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වලට, ගැඹුරු ශිල්ප ශාස්ත‍්‍ර අධ්‍යයනය කරන්නන්ට සුවිශේෂී ප‍්‍රතිඵල අත්කරගත හැකිය. දුවා දරුවන්ගේ අධ්‍යාපනික, ක‍්‍රීඩා ජයග‍්‍රහණ පිළිබඳ සතුටු වීමේ ඉඩකඩ ද කන්‍යා ලග්න හිමියන්ට උදා වී ඇත. ඌෂ්ණ අධික රෝග පීඩා බහුල කළ හැකිය. නිසි වෙලාවට පාලනයෙන් යුතුව ආහාර පාන ගැනීම වඩාත් වැදගත් වේ. බදාදා සහ සිකුරාදා දින දෙක ඔබේ සුභ කටයුතු සඳහා තබා ගැනීම යෝග්‍යය. එසේම අංක 2, 5 සහ අංක 7 ඔබේ ජය අංක ලෙස ද කොළ වර්ණය සහ ක‍්‍රීම් වර්ණය ඔබේ ජයග‍්‍රාහී වර්ණ ලෙස ද හැඳින්විය හැක. මෙම වසර පවතින අභියෝග, රාජයෝග බවට පත්කර ගැනීමට මාසයේ පළමුවන බදාදා දිනවල ඔබේ ප‍්‍රදේශයේ පහසුකම් අවම දරුවන්ට පොත්පත් ආදිය දන් දීමත්, ගණ දෙවියන්ට ඊතණ මල් මාලාවක් පළඳවන්න හැකිනම් 2020 ඉතාමත් සුභ වසරක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබේ.


Share this

තුලා ලග්නය

තුලා ලග්නයේ උපන් ඔබේ යෝගකාරක ග‍්‍රහයා වන සෙනසුරු මෙතුවක් කල් ලග්නයේ තුන්වැන්නේ ගමන්කළ අතර එකී සෙනසුරු ජනවාරි මාසයේ 24 වැනිදා ඔබේ ලග්නයෙන් 4 වැන්නට ප‍්‍රවේශ වන්නේ පංචමහා පුරුෂ යෝගයක් වන ‘සස’ නමැති යෝගය උදා කරමින්ය. එසේම වසර ආරම්භයේ දීම බ‍්‍රහස්පති තුන්වැන්නාධිපති ලෙසින් තුන්වැන්නේම බලවත් වී පවතින්නේ රාජකාරික රවි, යෝගකාරක සෙනසුරු, කේතු සහ බුධ සංයෝග වී පවතිමින්ය. ක්ෂණික මුදල් ලැබීම් සඳහා ඉතාමත් සුබයි. අතරමැදි ව්‍යාපාර ආදී කටයුතු වලින් ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට ද හැකියාවක් පවතී. එසේම නිෂ්ඵල වියදම් තරමක් බහුල කරන බැවින් තුලා ලග්නයේ උපන් ඔබ නිසි මූල්‍ය කළමණාකාරීත්වයෙන් යුතුව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් වැදගත් වේ. රැකී රක්ෂා ආශ‍්‍රිතව තිබූ අර්බුධකාරී වටපිටාවන් නිරාකරණය කරගෙන වාසනාවන්ත ලෙසින් කටයුතු කරගෙන යෑමේ ඉඩකඩ ලැබේ. අන් අයගේ අඩුපාඩු ඍජු වශයෙන් පෙන්වා දීමට යාමේ දී පරිස්සම් විය යුතුය. නිහඬ සතුරු කරදර බාධාත් නැත්තේම නොවන වසරකි. ගෘහ ජීවිතය අතින් ගත් කළ බොහෝවිට මානසික වශයෙන් යම් යම් පීඩා කරදර එල්ලවිය හැක. තමාගේ අභිමතයට අනුව කටයුතු කිරීමට යාමේ දී පවුල් ජීවිත ආශ‍්‍රිත සතුට, සැනසුම, සහජීවනයටත් යම් යම් බාධා කරදර ගෙනදිය හැක. යුතුකම්, වගකීම් මැනවින් පැටවෙන වසරක් ලෙසට 2020 හැඳින්විය හැක. දුවා දරුවන්ගේ යුතුකම් අවශ්‍යතා වෙනුවෙන් වෙනදට වඩා අරමුදල් එක්රැස් කරන්නට සිදුවේ. එසේම තමන්ගේ ඥාතිවර්ගයා වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න සේම පිං අනුමෝදනා වැනි කටයුතු වල ආගමික වත්පිළිවෙත් වල නිරත වීමට වැඩි අවකාශ ලැබෙන වසරකි. අධ්‍යාපනය අතින් ගත්කළ ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතු වල නිරතවන තුලා ලග්න හිමි දුවා පුතුන්ට සුවිශේෂී ජයග‍්‍රහණ ලැබේ. එසේම ක‍්‍රීඩා කටයුතු වලට සම්බන්ධව කටයුතු කරන තුලා ලග්න හිමියන් පෙර පුහුණුවීම් නිසි පරිදි කිරීමට නම් වගබලා ගත යුතු වසරකි. සෞඛ්‍ය අතින් ගත්කළ ලේ ගමන් කරන සියුම් නහර ආශ‍්‍රිත රෝග පීඩා බහුල කරයි. පපුව ආශ‍්‍රිතව පවතින සුළු වේදනාකාරී තත්වයන් ද නොසලකා නොඉඳ ඉක්මන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම වඩා වැදගත් වේ. ඉරිදා, සඳුදා සහ සෙනසුරාදා දින ඔබේ සුභ දින ලෙස තබා ගැනීම යෝග්‍ය වේ. එසේම අංක 1 සහ 6 ඔබේ ජයග‍්‍රාහී අංක වන අතර සුදු, ක‍්‍රීම් සහ රෝස පැහැයන් ඔබේ ජයග‍්‍රාහී වර්ණ වේ. මාසයේ පළමු සිකුරාදා දින වල දකුණු අතේ වියතේ උසට ගැළපෙන ආකාරයට පෙරහන්කඩ ගොටු 9ක් මසා ළඟම ඇති විහාරස්ථානයට පූජා කිරීමට හැකි නම් 2020 වසර සාර්ථක වසරක් බවට පත්කර ගත හැක.


Share this

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වසර ආරම්භයේදීම ඔබේ ලග්නාධිපති අඟහරු ලග්නගතව බලවත්ව වෘශ්චික නමැති පංචමහා පුරුෂ යෝගයෙන් ගමන් කරයි. දෙවැන්නාධිපති දෙවැන්නෙන් බලවත්ව පවතින සෙනසුරු, කේතු, බුධ සහ රාජකාරක රවි සංයෝග වෙමින් පවතී. 2020 ජනවාරි මස 24 වැනිදා සෙනසුරුගෙ මාරුව සිදුවන්නේ ඔබේ ලග්නයේ තුන්වැන්න වූ වික‍්‍රමස්ථානයටයි. 2011 නොවැම්බර් මාසයේ 15 වැනිදායින් පටන්ගත් හත් අවුරුදු ඒරාෂ්ටකයක් නිම කිරීමේ සතුට භුක්ති විඳීමේ අවස්ථාව ලැබේ. ධන ධාන්‍ය, මිල මුදල් ලැබීම් වලට ඉතා යහපත් වේ. අවහිරතා, කරදර බාධක ඉවත්කර ගැනීමට, උරුම හරුමකම් වෙනුවෙන් තිබූ බාධා කරදර ඉවත් කර ගැනීමට ද වෘශ්චික ලග්න හිමියන්ට අවකාශ ලැබේ. රැකි රක්ෂා ආශ‍්‍රිත දියුණුවට ඉතාමත් සුබයි. එසේම සුළුවෙන් ආරම්භ කරනු ලැබූ ව්‍යාපාර කටයුතු අනේකවිඳ බාධා සමූහයන් මැද තිබුණේ නම් එම ව්‍යාපාර කටයුතු වල හිනිපෙත්තටම නැඟීමේ අවකාශ නිරන්තරයෙන්ම ලැබෙන වසරකි. යුග ජීවිතයේ දී පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කළේ නම් 2020 දී පවලේ අය සමඟින් එකතුව සිටින්නට වාසනාව ශක්තිය ලැබෙන වසරකි. එසේම මෙතුවක් කල් නොහොඳ නෝක්කාඩු ව සිටි ඔබගේ ඥාති වර්ගයා සමඟත් හොඳ හිත පවත්වාගෙන යාමට මේ වසරේ දී අවකාශ ලැබේ. දරු සම්පත්තීන් පිළිබඳව යම්කිසි ප‍්‍රමාදයකින් පසු වූ වෘශ්චික ලග්න හිමියන්ට සුභ ප‍්‍රතිඵල අත්පත් කරදෙන වසරක් ලෙස 2020 දැක්විය හැක. අධ්‍යාපනය අතින් ගත්කළ නව තාක්ෂණය, පරිගණක අධ්‍යාපනය, විදේශගත අධ්‍යාපන බලාපොරොත්තු වූවන්ට බලාපොරොත්තු සඵල කර ගැනීමට රාහුගේ ග‍්‍රහ මාරුව ඉවහල් වන බවත් මතක තබාගත යුතුය. ජයග‍්‍රහණය පතා කටයුතු කරන්නේ නම් ඉරිදා, අඟහරුවාදා යන දින දෙක සුභ වේ. එසේම සුභ අංක ලෙස අංක 2, 4 සහ අංක 7 යහපත් වන අතර ජය වර්ණය වන්නේ රතු පැහැති වර්ණයයි. 2020 ජයග‍්‍රහණය පතා කටයුතු කරන්නන් මාසේ පළමුවන අඟහරුවාදා දවසක බෝ මළුව අතු ගෑමට අවශ්‍ය ඉදලක් විහාරස්ථානයකට රැගෙන ගොස් ඔබ ආයාසයකින් තොරව බෝ මළුව අතු ගා තමාගේ ජීවිතේ තිබෙන්නා වූ සියළුම අපවිත‍්‍ර දෑ ඉවත් කරන ලෙස ආයාචනා කිරීමෙන් 2020 සදා අමතක නොවන වසරක් බවට පත්කර ගත හැක.


Share this

ධනු ලග්නය

ධනු ලග්නයේ උපන් ඔබට වසර ආරම්භයේදීම නම් ලග්නාධිපති බ‍්‍රහස්පති ලග්නගතව බලවත් වී ගුරු හංස නමැති පංච මහා පුරුෂ යෝගයක් යෙදී පවතී. එහි සෙනසුරු, කේතු, බුධ සහ රවි යන පංචග‍්‍රහ යෝගයක් පැවතීම ඉතාමත් සුබයි. එසේම ජනවාරි මස 24 වැනිදා ඔබේ ලග්නගතව සිටින සෙනසුරු ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානයට ප‍්‍රවේශ වීම නිසා ධනු ලග්න හිමියන්ට සැනසුම් සුසුමක් හෙළිය හැක. මන්දයත් 2014 නොවැම්බර් මස 02 වැනිදා ආරම්භ වූ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකයේ අති ප‍්‍රභලතම කාලය 2017 ඔක්තෝබර් මාසයේ සිට 2020 ජනවාරි මස 24 වැනිදා දක්වා ගතකර ඇත. එම තදබල අපල නිම කරමින් සෙනසුරු ඔබගේ ධනස්ථානයට යාමේ සතුට භුක්ති විඳීමේ ඉඩකඩ ධනු ලග්න හිමියන්ට පවතී. මිල මුදල්, ධන ධාන්‍ය ලැබීම් වලට ඉතාමත් යහපත් වේ. එසේම අතරමඟ නවතා තිබූ කටයුතු, අතහැර දමා තිබූ කටයුතු නවතාවයකින් යුතුව ආරම්භ කිරීමට මෙන්ම අතමිට සරු කර ගැනීමටත් ධනු ලග්න හිමියන්ට අවකාශ ලැබේ. එසේම ගෘහ ජීවිතය අතින් ගත්කළ පවුලේ සතුට, සමඟිය, සහජීවනයට යම් යම් බාධා ගෙනදුන් කරුණු කාරණා වලින් නිදහස් වීමේ ඉඩකඩ ධනු ලග්න හිමියන්ට පවතී. දුවා දරුවන්ගේ හැකියා දක්ෂතා වලින් සතුටු වීමේ ඉඩකඩ ද පවතී. ඔවුන් සමඟ වැඩිපුර කාලය ගතකිරීමට, ප‍්‍රිය සම්භාෂණ, උත්සව අවස්ථා ඉතාමත් බහුල වන අලූත් අවුරුද්දක් ලෙස 2020 දැක්විය හැක. සෞඛ්‍යය අතින් ගත්කළ විශේෂයෙන්ම විෂබීජ ශරීරගත වීම්, හිස ආශ‍්‍රිත සෙම් රෝග පීඩා බහුල කිරීමේ ඉඩකඩ ඇති බැවින් අවේලාවේ ස්නානය කිරීම සඳහා 2020 වසර යෝග්‍ය නොවේ. එසේම අධ්‍යාපනය අතින් ගත්කළ අධ්‍යාපන කටයුතු වලින් ඉහළ ජයග‍්‍රහණ අත්කර ගැනීමට මෙන්ම විදේශීය අධ්‍යාපන බලාපොරොත්තු වූ ධනු ලග්න හිමියන්ට එම බලාපොරොත්තු පහසුවෙන්ම සඵල කර ගැනීමේ ඉඩකඩ පවතී. ජයග‍්‍රාහී දින ලෙස සිකුරාදා සහ බ‍්‍රහස්පතින්දා යොදා ගැනීමත්, සුභ අංක ලෙස අංක 3, අංක 6 සහ අංක 9 තබා ගැනීම වඩා යෝග්‍ය වේ. කහ, තැඹිලි සහ රන්වන් යන වර්ණයන් ඔබේ ජයග‍්‍රාහී වර්ණයන් ලෙස සැලකිය හැක. පවතින හිතකර තත්වයන් වඩාත් හිතකර ගැනීමට, ඔබට හැකිනම් පුර පසළොස්වක පොහොය දිනක ශීල ව්‍යාපාර ආදී කටයුතු වලට ඔබගේ වයසට ගැළපෙන ආකාරයට කිරිබත් දීම වඩා යෝග්‍ය වේ.


Share this

මකර ලග්නය

මෙම වසර ආරම්භයේදී මකර ලග්නයේ ලග්නාධිපති බලවත් වූ බ‍්‍රහස්පති, කේතු, බුධ සහ රාජකාරක රවි සමඟ ලග්නෙන් දොළොස්වැන්න වූ අයස්ථානගතව ගමන්කරයි. 2017 ජනවාරි මාසයේ සිට ඔබට ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වූවා. එම ලග්න ඒරාෂ්ටකයේ මැද කොටස එනම් 2020 ජනවාරි මස 24 වන දින සිට 2023 දක්වා පවතී. එම සෙනසුරු මාරුවත් සමඟම මකර ලග්නයේ උපන් ඔබට සෙනසුරුගෙන් යෙදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන සස නමැති යෝගය යෙදී පැවතීමත් ඉතා සුභය. ආර්ථික වශයෙන් ගත්කළ මිල මුදල් තරමක් වැය වේ. බොහෝ විට ප‍්‍රසිද්ධිය, කීර්තිය, කැපී පෙනීම වැනි දෑ වෙනුවෙන් වැය පාර්ශවයත් බහුල කරයි. එසේම ආයෝජන කටයුතු වලදී අන් අයගේ අණට, බහට රැවටීම තුළ නිෂ්ඵල වියපැහැදම් බහුල කරවිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිළිමත් විය යුතු වසරකි. රැකි රක්ෂා අතින් ගත්කළ කට පරිස්සම් කර ගැනීම වැදගත්ය. අනවශ්‍ය දේ කතාබහ කිරීම තුළ ප‍්‍රධානීන් සමඟ තිබෙන්නා වූ හොඳ හිත පළුදු වීමේ ඉඩකඩක් පවතින බැවින් මකර ලග්න හිමියන් බුද්ධිමත් සිතින් යුතුව තීරණ ගැනීම වැදගත් වේ. ගෘහ ජීවිතය අතින් ගත්කළ උච්ඡාවචනයන්ට ලක්වන වසරකි. බොහෝ දුරට සතුට, සමඟිය, සහජීවනය සේම තවත් විටෙක ආවේගශීලී බව, කලකිරීම්, පසුතැවීම් වලට පවා ලක්වීමේ ඉඩකඩ පවතින බැවින් උපේක්ෂාශීලීව, බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම වඩා වැදගත් වේ. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්වේ. බොහෝ විට ඔබ විසින් ගනු ලබන තීන්දු තීරණ නිසා පසුතැවීමේ ඉඩකඩ පවතී. වැඩිහිටි ඥාතියෙකුගේ අසනීප තත්වයක් වෙනුවෙන් වසරෙන් වැඩි කාලයක් තමාගේ කාලය, ශ‍්‍රමය හා ධනය ඒ වෙනුවෙන්ම වැය කිරීමට ඉඩකඩ පවතී. අධ්‍යාපනය අතින් ගත්කළ අධ්‍යාපන කටයුතු වලට මන්දගාමී ස්වභාවයක් ඇතිකළ හැකිය. උත්සාහය, උනන්දුව, කැපවීම නිසි පරිදි තබාගතහොත් ඔබට 2020 වාසනාවන්ත වසරකි. සෞඛ්‍යය අතින් ගත්කළ සෙම් රෝග, බෝවන රෝග වලින් අහිතකරතා ගෙනදිය හැක. අඟහරුවාදා, බදාදා සහ සිකුරාදා දින ඔබගේ සුභ දින ලෙස තබාගැනීම යහපත් වේ. අංක 6, අංක 8 සහ අංක 9 ඔබේ ජයග‍්‍රාහී අංක වන අතර නිල් පැහැය ඔබේ ජයග‍්‍රාහී වර්ණයයි. මෙම වසර ජයග‍්‍රහණය පතා කටයුතු කරන්නේ නම් කළු තල, අංජන කැට, වී පොරි, සතකුප්ප, බැබිල, සුවඳ කොට්ටන්, දේවදාර, කලාදුරු අල, සමන්පිච්ච මල් යන ඖෂධ සමව ගෙන තම්බා නිවා සෙනසුරාදා දිනවලදී ස්නානය කිරීමට හැකිනම් 2020 ඔබට යහපත් කරගැනීම පහසු වේ.


Share this

කුම්භ ලග්නය

2020 වසර ආරම්භ වන විටදී ඔබේ ලග්නාධිපති සෙනසුරු, එකොළොස්වැන්නාධිපති බලවත් වූ බ‍්‍රහස්පති, රාජකාරක රවි, බුධ සහ කේතු පංචග‍්‍රහ යෝගයක් ලග්නයෙන් එකොළොස්වැන්න වූ අයස්ථානගතව ගමන් කරමින් උදාකරයි. වසර ආරම්භයේදී එනම් ජනවාරි මස 24 වැනිදා සෙනසුරුගේ මාරුව සිදුවන ඔබේ ලග්නයට ලග්නයෙන් දොළොස්වැන්න වූ අයස්ථානයට කුම්භ ලග්න හිමියන්ට 4 අවුරුදු සෙනසුරුගේ ඒරාෂ්ටකයක් මෙම සෙනසුරුගේ මාරුවත් සමඟම ඇතිකර තිබේ. ආර්ථික වශයෙන් ගත්කළ විශේෂයෙන් ආයෝජන කටයුතු වලදී හොඳින් සිතා මතා කටයුතු කිරීම වඩාත් වැදගත් වේ. බොහෝවිට සැහැල්ලූවෙන් මුදල් උපයන්නට ගොස් නීති, කරදර බාධා ආදියට ලක්වීමේ ඉඩකඩ පවතින බැවින් නීත්‍යානුකූලව කරන කියන කටයුතු කිරීම වැදගත්වේ. එසේම රහස් මාර්ග වලින් මුදල් ඉපයීමට කරන ආයෝජන නිසා රැවටීම්, මුලාවීම්, නීති කරදර බාධා වලට හසුවිය හැක. රැකි රක්ෂා අහිමි වීම, ස්ථාන මාරු, ප‍්‍රධානීන් අතර මත ගැටුම්, අර්බුධකාරී තත්වයන් ගෙනදෙන බැවින් බුද්ධිමත් සිතින් 2020 දී කටයුතු කිරීම වැදගත්වේ. ගෘහ ජීවිතය අතින් ගත්කළ වසර මැද වනතෙක්ම මානසික වශයෙන් යම් යම් පීඩා කරදර ඇතිවිය හැක. සහකරුගෙන් සහකාරියටත්, සහකාරියගෙන් සහකරුටත් යම් යම් පීඩා කරදර, මත ගැටුම් තත්වයන් ඇතිවීමේ ඉඩකඩ ද පවතින බැවින් වඩාත් කල්පනාකාරීව යුගජීවිත ආශ‍්‍රිතව තීන්දු තීරණ ගැනීම වඩා වැදගත්වේ. එසේම දුවා දරුවන්ගේ ක‍්‍රියා කලාපය නිසා මානසික පසුගාමීත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම කාලය තුළ බුද්ධිමත් සිතින් කටයුතු කිරීම වැදගත්වේ. අධ්‍යාපන කටයුතු වලට තෙවන පාර්ශවයන්ගේ තදබල පීඩා කරදර ගෙනදිය හැක. ඇසුරුකළ යුත්තන් කවුද, ඇසුරු නොකළ යුත්තන් කවුද යන්න වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම වැදගත් වේ. කුසීත ගති ලක්ෂණ සේම ශාරීරික අප‍්‍රාණිකත්වයන් සෞඛ්‍යයට අහිතකරතා ගෙනදිය හැක. නිසි පෝෂණය පිලිබඳව කුම්භ ලග්න හිමියන් වැඩි අවධානය යොමු කළ යුතුය. අංක 3 සහ අංක 9 ඔබේ ජයග‍්‍රාහී අංක වන අතර රතු සහ නිල් ජයග‍්‍රාහී වර්ණයන් වේ. ඔබට තිබෙන අභියෝග රාජයෝග බවට පත්කර ගැනීමට නම් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6.40 - 6.50 අතර ලිපගිනි මොලවා රතු කැකුළු බතක්, එළවළු ව්‍යංජන සමඟ බත් පාර්සල් 3ක් සාදා අතපය වාරු නැති යාචකයන්ට දීම යහපත්වේ.


Share this

මීන ලග්නය

2020 වසර ආරම්භයේදී ලග්නාධිපති බ‍්‍රහස්පති ලග්නෙන් දසවැන්නේ බලවත් වී පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නමැති යෝගයකින් ගමන් කරයි. එසේම ජනවාරි 24 වැනිදා සෙනසුරුගේ ප‍්‍රවේශය සිදුවන්නේ සියලූම ලැබීම් පෙන්නුම් කරන අයස්ථානයටයි. එමනිසා සෙනසුරුගේ ග‍්‍රහ මාරුව නිසා උදාවන වසර අතිසාර්ථක වසරක් බවට පත්විය හැක. මිල මුදල් යහමින් ලැබෙන වසරකි. දේපළ උරුමකම් වෙනුවෙන් අතමිට සරුවිය හැකි කාලයකි. තමාට තිබූ වෙළඳාම් කටයුතු වල යම් පසුගාමීත්වයක් පැවතියේ නම් එම තත්වයන් පිළිසකර කර ගැනීමට අවස්ථාව ලැබේ. එසේම රැකී රක්ෂා ආශ‍්‍රිතව නැතිවී ගිය ස්ථාන නැවත තමාට ස්ථාවර ස්ථාන බවට පත්කර ගැනීමේ ශක්තිය ලැබෙන වසරකි. ගෘහ ජීවිතයේ දී ප්‍රේමය, ආලය, විවාහය ආශ‍්‍රිතව ස්ථිර තීරණ ගැනීමට යහපත් වේ. දරුඵල පිළිබඳව ප‍්‍රමාදවීම් වලදී එම බලාපොරොත්තු සඵල කරගැනීමට අවස්ථාව ලැබිය හැක. එසේම තම පිරිවර ශක්තීන් වැඩි දියුණු කර ගැනීමට, ඥාති හිතමිත‍්‍රාදීන්ගෙන් අනේකවිදි උදව් උපකාර ළඟාකර ගැනීමටත් 2020 දී හැකියාව ලැබේ. අධ්‍යාපනය අතින් විදේශීය අධ්‍යාපනය බලාපොරොත්තු වූ ඔබට එම කටයුතු සාර්ථක කරගත හැකිය. තාක්ෂණික, කාර්මික අංශ වල වැඩි අධ්‍යාපන රටාවක් ළඟාකර ගැනීමට ද අවස්ථාව ලැබේ. මුත‍්‍රා ආශ‍්‍රිත රෝග පීඩා, මුත‍්‍රා ගල් වැනි තත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් එවැනි අසනීප තත්වයකදී ඉක්මන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම වඩා වැදගත් වේ. අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා ඔබේ සුභ දින ලෙස දැක්විය හැක. අංක 3 සහ අංක 9 ඔබේ ජයග‍්‍රාහී අංක ලෙස ද රතු සහ කහ ඔබේ ජයග‍්‍රාහී වර්ණ ලෙස ද පෙන්වා දිය හැක. 2020 තිබෙන්නා වූ අහිතකරතා මඟහරවා ගැනීමට පුර පසළොස්වක පොහොය දිනක ශීල ව්‍යාපාර වල හීල් දානය උදෙසා කොළ කැඳත්, සවස ගිලන්පස උදෙසා බෙලිමල් දන් දීමත් ඔබට වාසනාව උදා කරයි.


Share this
විශ්වයේ පවතින අනන්තවූ ශක්තියෙන් ඔබගේ බලාපොරොත්තු යහපහත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවෙන නව වසරක් බවට 2020 වසර පත්වේවා කියා ප්‍රර්ථනා කරමි.
Top